Posted On: November 4th 2026, 01:26 pm
ඉන්දියාවේදී මියගිය නාවික හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට
ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහය දිවයිනට ගෙනවිත් තිබෙනවා.
'BIMSTEC-2026’ සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ ජ්‍යෙෂ්ඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු නිලධාරියා ලෙස කටයුතු කළ කොමාණ්ඩර් සමීර සමරකෝන්, හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත්හි ශ්‍රී විජයපුරම් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය (02) වැනිදා අභාවප්‍රාප්ත වුණා.
ඔහුගේ දේහය වෙත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර ඇතුළු කාර්යමණ්ඩලය සහ ඉන්දීය නාවික හමුදාව විසින් අවසන් ගෞරව සිදුකිරීමෙන් අනතුරුව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (03) එම දේහය මෙරටට රැගෙන ආවා.
2006 දෙසැම්බර් 14 වැනිදා 45 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ කොමාණ්ඩර් සමීර සමරකෝන්, මූලික පුහුණුව සාර්ථකව නිම කර තිබුණා.
අනතුරුව, 2008 දෙසැම්බර් 14 වැනිදා ඔහු උප ලුතිනන් නිලයේ අධිකාරියට පත්වවීමට සමත්ව සිටියා.
එතැන් සිට නාවික හමුදාවේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ නිලධාරියෙකු ලෙස විවිධ නෞකා සහ ආයතනයන්හි රාජකාරි ඉටු කළ ඔහු, සිය සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2024 අප්‍රේල් මස පළමුවැනිදා කොමාණ්ඩර් නිලයට උසස්වීම් ලැබුවා.
මේ අතර කොමාණ්ඩර් සමීර සමරකෝන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා පූර්ණ ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.
#HiruNews #HiruNewsLK #TruthAtAllCosts